Tuesday, November 10, 2015

සුරංගනාවෝ (කෙටි කතාව )


ගුවන් යානය මොන්ට්පේලියර් අභ්යන්තර ගුවන් තොටුපල කරා පිටත් වීමට සූදානම් බව ඇසෙත්ම ගමනාන්තයට ළඟා වූවාක් වැනි හැඟීමකින් මහිත සැහැල්ලු විය. කටුනායක සිට පැරීසිය දක්වා වූ පැය එකොලහක දීර්ග ගුවන් ගමනත්, පැරීසියේ චාල්ස් ඩි ගෝල් ජාත්යන්තර ගුවන් තොටුපලේ අසුනක් මතට වී නින්දත් නොනින්දත් අතරේ ගතකල හෝරා කිහිපයත් මට මුළු ගමනම එපා කරවා තිබුනි. යානය ගුවන්ගත වීමට සූදානම් බැවින් සියළු මගීන්ට ආසන පටි තදකර ගන්නා ලෙසට නිවේදනය නිකුත් වූ වහා මට යාබද අසුනේ වූ මගියා ගුවන් සේවිකාවකගේ සහය අවශ්‍ය බව දන්වන බොත්තම එබීය. ඉන් මොහොතකට පසු එතනට ගුවන් සේවිකාවට ඔහු සිය අවශ්යතාවය දැනුම් දුන්නේ ප්රංශ බසින් වුවත් හඩේ වු කලබලය මගේ අවධානය ඔහු වෙත ඇදගන්නට සමත් විය.

වයස අවුරුද්දක හෝ ඊට මදක් වැඩි කුඩා දැරියන් දෙදෙනෙකු ඔහුගේ උකුල මත තද නින්දකය. ඔහු අංශක අනූවකටත් වැඩියෙන් හිස හරවාගෙන පිටුපස බලා සිටින්නේ දැඩි නොඉවසිල්ලකිනි.   ගුවන් සේවිකාවක් අප සිටි අසුන අසලට පැමිණි පසු ඔහු ආපිට හැරුනේ කෘතවේදී සිනහවක්  දෙතොලතර තබාගෙනය . ප්රංශ බසින් ඔහුට මොනවදෝ පැවසූ ගුවන් සේවිකාව අත රැදි ළදරුවන් සදහා වන ආසන පටි දෙකෙන් එකක් ඔහු අතට දී අනෙක මා අත තබා නික්ම ගියේ ඔහු තවත් මොකක්දෝ කියන්නට කට හදද්දීය. ගුවන් සේවිකාව වැරදි වැටහීමකින් මා අතට ආසන පටිය දුන් බව තේරුනද මා සිටියේ කල යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවය. 
"සමාවෙන්න. පොඩි වැරදීමක් උනේ" ඔහු බොහෝ ආචාරශීලිව එසේ පවසා මා අත වූ ආසන පටිය ගැනීමට අත දිගු කලේය.
"ඒකට කමක් නෑ. ඔයා මේ දරුවො දෙන්නව අරන් යන්නෙ තනියම නම් මට පුළුවන් එක දරුවෙක්ව ටික වෙලාවක් තියාගන්න. අඩුගානෙ යානය උඩට ගන්නකල් වත්"
"ඔබට උදව්ව කරන්න පුළුවන්නම් ඒක මට ලොකු පහසුවක්. මටත් වඩා මගේ මේ පුංචි සුරංගනාවියො දෙන්නට" කියමින් ඔහු අත් දෙකෙන් දෙදෙනාම තුරුළු කරගෙන හිස සිපගත්තේය.
අවුරුදු තිහකට අඩු මිස වැඩි නැතැයි සිතිය හැකි වයසක සිටි ඔහු එවෙලෙහි මට සිහිපත් කෙරුවේ ටී එම් ජයරත්නයන්ගේ මා කැමතිම ගීයකි.
"මං බොහොම සතුටින් උදව්ව කරන්නම්. දෙන්නකො මට ඔයාගෙ සුරංගනාවියො දෙන්නගෙන් එක්කෙනෙක්"
"මං දෙන්න ගියොත් ඇහැරෙයි. ඔයාට පුළුවන්ද මෙයාව ගන්න" කියමින් ඔහු වම් අතින් තුරුළු කරගෙන උන් දැරියගේ හිස මත මෘදුවට නිකට තැබීය. ලෝකයේ විවිධ රටවල වසන මිනිසුන් ජාති ආගම් සිරිත් විරිත් අතින් කෙතරම් වෙනස් වුවත් මාපිය සෙනෙහස සමස්ථ ලෝකයාටම පොදු බව ඔහු   යලි යලිත් මට ඒත්තු ගන්වමින් සිටියේය.
ඔහුට තුරුළුව සුවැති නින්දක සිටි සිඟිත්තිය කෙතරම් සීරුවෙන් ඔසවා මා උකුලට ගත්තත් පියාගේ උණුසුමෙන් ඈත් වූ නිසාදෝ ඈ යන්තමින් අවදි  විය.  අඩන්නට සූදානම් වූ ඈ නළවා ගැනීම මට ඒ හැටි අපහසු කාර්යක් නොවීය. ඔහු සැහැල්ලුවෙන් සිනාසී මා දෙස බැලුවේ දියණිය යලිත් සුවසේ නිදන බව තහවුරු  කරගෙනය.
" පුංචි දරුවන්ව නළවලා හොදට පුරුදුයි වගේ"
"අපොයි ඔව්. මගේ සහෝදරියන්ගෙ දරුවො හතර දෙනෙක්ම මේ වගේ වයසෙදි වැඩිපුරම හිටියෙ මගෙ උකුලෙ" කියමින් මම උකුල මත වූ සිඟිත්තිය දෙස බැලීමි.
මා අසල වූ ආගන්තුකයාගේ මුහුණට අපූරු පෙනුමක් එකතු කර තිබූ සිහින් දිගු නාසය දැරියන් දෙදෙනාටද එලෙසම පිහිටා තිබුනි. උපතින්ම හිමි වූ රෝස පැහැයත්, තඹපාට සිනිදු කෙහෙ රැළිත්, දිගු ඇසි පියත් නිසා මට දැනුනේ මා තුරුළෙහි නිදන්නේ ජීවමාන බෝනික් කියක් බවය.
"ඔයාට පුළුවන්ද ඔය පටිය මෙහෙම ඔයාගෙ ආසන පටිය ඇතුළෙන්  අරන් මේ විදිහට දාගන්න" කියමින් ඔහු, ඔහු අත සිටි දියණියට ආරක්ෂණ පටිය පැළදවීය. මා ඔහුව අනුගමන කල පසු ඔහු ස්තූති පූර්වක බැල්මක් හෙලා සිනාසීය.
"මම මේ දෙන්නව ඕනි තරම් තනියම ගමන් බිමන් අරන් ගිහින් තියෙනවා. හැබැයි මේක තමයි මෙයාලව අරගෙන තනියම යන්න වුන පළවෙනි ගුවන් ගමන. ඇත්තටම මං කීයටවත් බලාපොරොත්තු උනේ නෑ මඟියෙකුගෙන් උදව් ලැබෙයි කියලා. මං හිතා හිටියෙ බැරිම උනොත් ගුවන් සේවිකාවකගෙ උදව් ගන්නවා කියලා"
"දෙන්නා කතා වෙලා වගේ නිදි"
"එයාලා එහෙම තමයි. නිදාගන්නෙ, බඩගිනි වෙන්නෙ විතරක් නෙවෙයි ලෙඩ වෙන්නෙත් එකටම" කුඩා කාලයේ හදා වඩා ගැනීම දුෂ්කර වුවත් නිවුන් දරුවන් ලැබීම කෙතරම් භාග්යක්දැයි මට සිතුනේ එවෙලෙහිය. .
"අදනම් මේ දෙන්නා මෙහෙම නිදාගන්නෙ ගමන් මහන්සියට. අපි මේ ඊයෙ රෑ පිටත් වෙච්ච ගමන්"
"ඊයෙ රෑ?"
"ඔව්..අපි පැරීසියට ආවෙ රාත්රී දුම්රියක. ගමන මටත් ටිකක් වෙහෙසයි. මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් නිදාගත්තෙ නෑ  උදේ වෙනකල්ම. ගමන් මහන්සියටත් වඩා ඒකයි දෙන්නා දැන් ඔහොම නින්දෙ ඉන්නෙ" ඔහුගේ මුවින් පිටවන සෑම වචනයක්ම කුමක් හෝ පැණයක් මහිතේ ඇති කලද ආගන්තුකයෙකුගෙන් ප්‍රශ්ණ ඇසීම සදාචාරාත්මක නොවන නිසා මම මුණිවත රකින්නට පරිස්සම් වීමි.
"මගේ බිරිඳ මේ දවස් වල ටිකක් අසනීපෙන්" ටික වේලාවකට පසු ඔහු තරමක් වේදනාත්මක හඩකින් එසේ පැවසුයේ මගේ සිතට වද දෙන සිතුවිලි හදුනාගත්තාක් මෙනි.
"මොනවා වෙලාද"
"මේ දරුවො දෙන්නා ලැබුන දවසෙ ඉදලම එයා අසනීපෙන්...ඔයා සමහරවිට අහලා ඇති, සමහර කාන්තාවන්ට දරුවො ලැබෙන වෙලාවට ඇතිවන ආතති තත්වයක් දිගටම පවතිනවා. මගේ බිරිඳටත් තියෙන්නෙ ඒ වගේ තත්වයක්. මේ දවස්වල ඒ තත්වය ගොඩක් නරක අතට හැරෙමින් තියෙන්නෙ. වෛද්‍යවරු කියන්නෙ ඉක්මනින් රෝහල්ගත කරලා ප්‍රතිකාර නොකොලොත් ලෙඩේ දරුණු වෙන්න පුළුවන් කියලා. ඉතින් මං හිතුවා  ඇයව හෙටම රෝහල්ගත කරන්න ඕනි කියලා. ඒත් මේ දෙන්නවත් බලාගෙන මට එයාගෙ ලෙඩ ගැන බලන්න අමාරු නිසා මගේ සහෝදරී කිව්වා මේ දෙන්නව ටික දවසකට එයා ළග තියන්න කියලා "
"එතකොට මේ එහෙ යන ගමන්ද?"
"ඔව්. ඇය දැන් ඇගේ සැමියත් එක්ක ගුවන් තොටුපලට ඇවිත් බලන් ඇති. ඇගේ ගෙදර තියෙන්නෙ ගුවන් තොටුපලේ ඉදලා ටිකක් ඈත. මට එහෙ ගිහින් එන්න ගියොත් වෙලා යන නිසා මං මේ දෙන්නව දීලා මෙහෙමම ආපහු ගෙදර යන්නත් ඕනි"
"ඔබේ බිරිඳට ඉක්මනින් සනීප වෙයි"
"ඔව්...මමත් හිතනවා" කියමින් ඔහු දිගු කල්පනාවකට වැටුනි.
මවගේ රෝගී තත්වයවත් පියා මනසින් විදවන විදවීමවත් නොදත් දියණියන් දෙදෙනා තවමත් සුව නින්දකය. කිසිවක් හරිහැටි නොතේරෙන ළදරු විය කොයි තරම් මිහිරිදැයි මට සිතුනේ ඒ සුරතල් මුහුණු දෙස බලාසිටියදීය. ජීවිත කාලයම ළදරුවෙකු ලෙස ගෙවන්නට හැකිනම් ලෝකය මොන තරම් සුන්දර තැනක් වේවිද?
පැය එක හමාරක් වූ ගුවන් ගමන නිමා වන්නට ඔන්න මෙන්න තිබියදී මා සිටියේ කවුළුවෙන් එපිට පෙනෙනා මධ්‍යධරණී  මුහුදේ අපූර්ව දර්ශණයට වශීකෘතවය.
"ආ...මට අහන්නත් අමතක උනා. ඔයා යන්නෙ කොහෙටද?"
"මම හරියටම කියන්න දන්නෑ. ඒත් මට ලැබුන උපදෙස් අනුව නම් මං යන්න ඕනි ප්ලේස් ඩි ලා කොමඩි (Place De La Comedie)  කියන හරියට. මං උච්චාරණය කලා හරිද කියලනම් දන්නෑ"
"කොහොම උච්චාරණය කලත් කුලී රථ රියදුරෙකුට කිව්වනම් එතනින් ගිහින් බස්සයි. ඒ තමයි නගර චතුරශ්‍රයෙ කේන්ද්‍රස්ථානය"
"මං හිතුවෙ බස් එකකින් යන්න. මොකද තාම වෙලාව එකොලහටවත් නෑ. හෝටලයට ගියත් කාමරය ලැබෙන්නෙ තුනෙන් පස්සෙ" ඔහු තරමක් පුදුම වූ අයුරකින් මා දෙස බලා සිටින්නට වූයේ එවිටය.
"ඒ කියන්නෙ මේ විනෝදෙකට යන ගමනක්. මං හිතුවෙ මෙහෙ නැවතිලා ඉන්න කෙනෙක් කියලා. එතකොට ඉන්නෙ කොහෙද?. පැරිස්ද"
"අපෝ නෑ. මං මේ ප්‍රංශෙට ආව පළවෙනි වතාව"
"ගොඩක් දවස් මෙහෙ ඉන්නවද?"
"ඒත් නෑ. තව දවස් තුනකින් මං යනවා"
"දවස් තුනක් ඇති වෙයි කියලා හිතනවද මෙහෙ ඇවිදින්න"
"දවස් තුනක් තියා පැය තුනක්වත් ඇවිදින්න ලැබෙයිද දන්නෑ. මං මේ ආවෙ රාජකාරි ගමනක්"
ඒ වනවිට අප ගුවන් තොටුපලට සේන්දු වී තිබුනි. ඔහු දියණිය එක් අතකින් ඔසවාගෙන රාක්කය මත වූ විශාල කැන්වස් බෑගයක් ගෙන පිටේ එල්ලා ගත්තේය.
"ඔයාව කුලී රථයකින් ගිහින් බස්සවන්න තිබුනනම් ඒක මට සතුටක්. ඒත් සමාවෙන්න මේ වෙලාවෙ හැටියට  කාලය කියන දේ මට ගොඩක් වටිනවා. ඒ කොහොම උනත් මේ කරපු උදව්ව හැමදාම මගේ මතකයේ තියේවි"
"අපෝ ඒක බොහොම සුළු දෙයක්. මේ ආසනේ මං නැතුව වෙන කෙනෙක් හිටියත් ඔබට ඒ උදව්ව ලැබෙනවා කියලා මට විශ්වාසයි"
"මමනම් කොහෙත්ම එහෙම හිතන්නෑ. මේ වෙලාවෙ මගෙ ලග ආගන්තුක පතක් නෑ. ඔයා ළග තියෙනවනම් මට එකක් දෙන්න. මේ කරදට ඉවර උන ගමන්ම මං ලියන්නම්. මං හිතන්නෙ මගේ බිරිඳත් ගොඩක් සතුටු වේවි ඔයාට කතා කරන්න ලැබුනොත්"
එතෙක් ආසනය අසල බිම තබාගෙන සිටි අත් බෑගය අතට ගත් මා  ආගන්තුක පත්‍රයක් සොයද්දී නිදා සිටි සිඟිත්තිය අවදි වී මහ හඩින් අඩන්නට පටන් ගත්තේ යාබද අසුන් වල වූ මගීන්ගේ අවධානයද අප වෙත ඇද ගනිමිනි. මටත් වඩා කලබලයට පත් වූ ඔහු පිටේ එල්ලාගෙන සිටි බෑගය අසුන මත තබා එහි සාක්කුවකින් පිටතට ගත් සූප්පුවක් දැරියගේ කටේ ගසා ඇය නිහඩ කරගත්තේය.. ඉන්පසු යලිත් බෑගය පිටේ එල්ලා ගත් ඔහු මා අත වූ කාඩ් පත යන්තමින් බලා කමීස සාක්කුවට දමා ගත්තේය.
"ආයෙත් වතාවක් කියන්නම්. මේ කරපු උදව්වට ස්තූති කරන්න වචන නෑ. දැන් මං යන්න ඕනි. පරක්කු උනොත් මගේ මස්සිනාට තරහ යන්න පුළුවන්" කියමින් ඔහු මා අත උන් දියණිය ගැනීමට අත දිගු කලේය.
"දෙන්නම ගන්න අමාරුනෙ. යමු මං මෙයාව අරගෙන එන්නම්"
"ඔයාට වෙලාව ඕනි තරම් තියෙනවනෙ. ඔයා හෙමින් එන්න. මට පුළුවන් මේ දෙන්නව අරන් යන්න. මෙයාලගෙ ළදරු කරත්තෙත් ඉස්සරහා තියෙනවා"
නින්දෙන් උවත් හෝරා එක හමාරක් මුළුල්ලේ මා තුරුළෙහි නිදා උන් සිඟිත්තිය දෙන්නට ලෝබ කමක් දැනුනද උදව්වකට එහා බැදීමක් අප අතර නැති බව පසක් වී මා ඔහුට දියණිය ගන්නට ඉඩහැරියෙමි. ඒ වනවිට ඉදිරිපෙල අසුන්වල වූ මගීන් සියල්ලම පාහේ බැස ගොස් තිබුන නිසා මටද ඔවුන් පෙනෙන තරම් දුරකින් ගමන් කල හැකි වුවත් ආගමන විගමන කටයුතු නිමවා ඔහු ළදරු කරත්තයද තල්ලු කරගෙන ඉක්මන් ගමනින් පිටව ගියේ වැරදීමකින්වත් පසුපස හැරී නොබලමිනි.
දහ අටවන සිය වසයට අයත් ඉපැරණි ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයට අබ මල් රොනක තරම් වත් වෙනසක් නොකොට එලෙසම පවත්වාගෙන යමින් විසි එක්වන සිය වසයේ ජීවත් වන මොන්ට්පේලියර් වැසියන් අතරට මා එක්වන විට වෙලාව පස්වරු එක පසු වුවා පමණි. ගුවන් තොටුපලේදී ලබාගත් නගර චතුරශ්‍රයේ සිතියම් කිහිපය සහ මා ලැගුම් ගන්නට බලාපොරොත්තු වන හෝටලයෙන් එවා තිබූ මාර්ග සිතියම දෙස බලද්දී මට මතක් වූයේ ළමා පුවත්පත්වල ඇති "හා පැටියාට කැරට් අලය ළගට යන්නට පාර සොයා දෙන්න" වැනි අභ්‍යාසය. මටද බස් නැවතුමේ සිට යායුතු තැනට යාමට අතුරු මාර්ග දහ පහලොවක් පසු කල යුතු විය. එහෙත් නිවරදි ගමන් මග නොදැන ගමන් කරන්නට පටන් ගතහොත් අතුරු පාරවල් සිය ගනනකින් සමන්විත ඒ නගරයේ මා අතරමං වීමට ඒ හැටි කාලයක් ගත නොවන බව සැනෙකින් මටම අවබෝධ විය. ප්‍රංශය යනු දිවා කාලෙයේ වුවද තනිව ගමන් කිරීම එතරම් ආරක්ෂාකාරී නොවන රටක් බවට ආයතන ප්‍රධානියා දුන් අවවාදයද මොකද්දෝ හේතුවකට එවෙලෙහිම මතක් විය. දෙවරක් නොසිතාම මා කුලී රියක් නතර කරගත්තේ ඉන්පසුය. එහෙන් මෙහෙන් කැරකුන කුලී රිය විනාඩි දහයක් යන්නට පෙර හෝටලය ඉදිරියෙන් මා බැස්සවීය.
පිළිගැනීමේ අංශයේ සිටි තරුණයා සිනහ මුසු මුහුණින්  මා පිළිගත්තේය. ඔහුටද තිබුනේ ගුවන් යානයේදී හමුවූ ආගන්තුකයාට සහ ඔහුගේ දියණියන්ට තිබූ පරිදිම දිගු නාසයකි
"මැඩම් ගුවන් තොටුපලේ ඉදලම කුලී රථයකින්ද ආවේ"
"ආ...නෑ...මම පාරවල් හොයාගන්න අමාරු නිසා මේ කිට්ටුවකදි වගේ තමයි කුලී රථයකට කතා කලේ"
"මැඩම් එහෙම ආව එක හොදයි. දැන් ලොකු වැස්සක් එන්න යන්නෙ. මොන්ට්පේලියර් කියන්නෙ අවුරුද්දෙ දවස් තුන්සිය හැටපහෙන් තුන්සීයක්ම හොදට ඉර පායලා තියෙන බොහොම සෞම‍ය නගරයක්. හැබැයි පැය භාගෙක වැස්සක් ඇති ගමනාගමනෙ එහෙම පිටින්ම නවත්තන්න"
නිවසින් පිටවී විසි හතර පැයකටත් වැඩියෙන් කාලය ගත වී තිබුන ඒ මොහොතේ මා සිටියේ ඔහුගේ කාළගුණ වාර්තාවට සවන් දීමට බැරි තරමේ විඩාවකිනි.
"මැඩම්ට ගොඩක් මහන්සි පාටයි. ගමන් බලපත්‍රය දෙන්නකො. මං බලන්නම් කාමරේ දැන්ම දෙන්න පුළුවන්ද කියලා"
"ඒකනම් ලොකු උදව්වක්. මං හිතුවෙ තුන වෙනකල් පුටුවක් උඩම නිදාගන්න වෙයි කියලා"
"අපි තුන කියලා කිව්වට කාමරේ ශුද්ධ පවිත්‍ර කරලා ඉවර නම් දොළහෙන් පස්සෙ ඕනි වෙලාවක යන්න දෙනවා. මැඩම් ඔහොම පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නකො. මං බලන්නම් මැඩම්ට වෙන් කරපු කාමරේ තත්වෙ කොහොමද කියලා" ඔහු බොහෝ ආචාරශීලිව එසේ පවසා පරිගණකය දෙසට හැරුනේ මට අසුනක් පෙන්වමිනි. 
මා අසුන් ගත්තේ රූපවාහිනිය ඉදිරිපිටය. ඒ වනවිට විකාශය වෙමින් පැවතියේ ළදරු විස්කෝතු වර්ගයක් ගැන වෙළද දැන්වීමකි. කුමක්දෝ හේතුවකට මට යලිත් වරක් මැවි මැවී පෙනෙන්නට ගත්තේ මා උකුලේ නිදා උන් දැරියය. ඒ තරම් කුඩා වයසකදී ටික දිනකට හෝ මව්පිය දෙදෙනාගෙන්ම ඈත් වී ජීවත් වන්නට වීම කෙතරම් අවාසනාවක්ද?. අපේ රටේ මෙන් දරු මුණුබුරන් ළග රැදෙන මිත්තනියක්වත් මේ දරුවන්ට සිටියේ නම් මව රෝහල්ගත කල පසු අඩුම වශයෙන් පියාගේ උණුසුමේ වත් රැදෙන්නට ඉඩ තිබුනි.
"මෙන්න මැඩම් කාඩ් එක. මැඩම්ට තව විනාඩි දහයකින් කාමරේට යන්න පුළුවන්. අපි උදේ කෑම හත හමාර......" කියමින් මා අසලට ආ පිළිගැනීමේ නිළධාරියාගේ අවධානය එක්වරම මගෙන් බැහැර වී රූපවාහිනිය දෙසට යොමුවිය. ඔහු ඒ තරම් උවමනාවෙන් නරඹන්නේ කුමක්දැයි දැනගන්නට මමද ඒ දෙස බලා සිටියද කිසිවක් තේරුම්ගත නොහැකි විය. පුදුමයකට මෙන් ඒත් සමගම තිරය මත දිස් වූයේ හෝරා කිහිපයකට පෙර මා උකුලේ නිදා උන් පුංචි සුරංගනාවිය සහ ඇගේ නිවුන් සොයුරියගේ ජායාරූපයකි . යලි කිසි දිනක දකින්නට නොලැබේයැයි සිතා සිටි ඒ සුරතල් මුහුණු අනපේක්ෂිත මොහොතක යලිත් දකින්නට ලැබීමේ ප්‍රීතිය මගේ නෙත් අගින් බැස යමින් තිබුනි.
මා දෙසට හැරුන පිළිගැනීමේ නිළධාරියා ඉන්පසු ප්රංශ බසින් මොන මොනවාදෝ කියා මා අත කාඩ්පත තැබීය.
"සමාවෙන්න. මට ඔයා කියපු කිසි දෙයක් තේරුනේ නෑ. කරුණාකරලා ආපහු ටික ඉංග්රීසියෙන් කියන්න පුළුවන්ද?"
"සමාවෙන්න මැඩම්. මැඩම් අර පොඩි දෙන්නා දිහා කඳුළු පුරවගෙන බලන් හිටිය විදිහට මං හිතුවෙ මැඩම්ට හොදට ප්රංශ භාෂාව පුළුවන් කියලා"
"ඇත්තටම මොකටද දරුවො දෙන්නව පෙන්නුවෙ"
"ඒක බොහොම දුක හිතෙන කතාවක්. දරුවන්ගෙ අම්මා මොකක් හරි අසනීපෙකින් ඉදලා තියෙන්නෙ. මේ දරුවො දෙන්නව එයාලගෙ නැන්දා කෙනෙක් ළග තියලා තාත්තා ගිහින් තියෙනවා අම්මව රෝහල් ගත කරන්න"
"ඉතින්" සියළු විස්තර ඔහුටත් වඩා හොදින් මා දැන සිටි නිසා මට තව දුරටත් පිලිබදව අසා සිටීමට උවමනාවක් නොවීය.
"තාත්තා නැති අතරෙ කවුරු හරි මේ ළමයි දෙන්නව පැහැරගෙන ගිහින්"
"දෙවියනේ. මොන අපරාදයක්ද?" මා මටම මුමුණා ගනිමින් අසුන මතට බර වූයේ හෝරා කිහිපයකට පෙර මගේ උණුසුමට ගුලිව උන් සුරංගනාවියගේ අවිහිංසක මුහුණ මැවි මැවි පෙනෙත්දීය.
"කොයි වෙලාවෙද ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ. දැන්ද?"
"දැන් තමයි පොලීසියට දැනුම් දීලා තියෙන්නෙ නම්. ඒත් සිද්ධිය වෙන්න ඇත්තෙ ඊයෙ රෑ හරි අද පාන්දර හරි කියලා තමයි සැක කරනවා කියන්නෙ. මොකද මේ දැන් ටිකකට ඉස්සෙල්ලා දරුවන්ගෙ තාත්තා ගෙදරට එනකොටත් දරුවො බලාගන්න හිටිය කෙනා නින්දෙලු"
 

නිමි!

සඳමාලී සකුන්තලා හේරත්, 2015.11.10