Wednesday, December 30, 2015

දඬුවම (කෙටි කතාව )


වෙනදා උදෑසන පංති කාමරයට ඇතුළුවන විට දැනෙන ප්රබෝධය අද හිත අහලකවත් නැත. හැමදාමත් මෙන් අදද පංතිය තුල සිටින්නේ තිසල් පමණි. සීනුව නාදවෙන තුරුම සෙල්ලම් කිරීමට හැම දරුවෙක්ම පාහේ කැමැත්තෙන් සිටියදී තිසල් ඊට අකමැති වීම තවමත් මට ප්රහේලිකාවකි. පොත් ටික ගුරු මේසය මතින් තබා මා පුටුව පස්සට ඇද්දේ ශබ්ද නැගෙන ලෙසය. සපත්තුවේ ලේස් ගැට ගසමින් උන් තිසල් එක්වරම නැගිට "ගුඩ් මෝනිං ටීච" කියා යලිත් සීරුවට ලේස් ගැට ගසන්නට විය. ඊයේ දෙමාපිය රැස්වීමෙන් පසු තිසල්ගේ මවට ඊළග වතාවේදී ඔහුට පහසුවෙන් පැළදිය හැකි ලේස් රහිත පාවහන්  යුගලක් අරන් දෙන්නට කිව යුතු බව සිතා සිටි අයුරු  මතකයට නැගුනේද දැන්ය. තනිව සිටින බොහෝවිට මෙන්ම පන්තියේ උගන්වන අතරතුරත් ඔහු වරින්වර මේ ලේස් ගැට ගැසීමේ නිරත වෙනු මා දැක ඇත්තෙමි. මුලදී ඔහුගේ මේ ක්රියාව මට සිහිපත් කලේ  තෙත්සුකො කුරයානගි විසින් රචනා කොට "හරි පුදුම ඉස්කෝලෙ" නමින් සිංහලයට පරිවර්තනය වූ පොතේ සිටි දඟකාර ජපන් දැරිය ටොට්ටෝ  චන්ගේ සමහර පුරුදුය.

"ටීච...ටීචට  ප්රින්සිපල් සර් එන්න කිව්වා" කියමින් දුවගෙන ඉහල පන්තියක සිසුවෙක් මා අසලින් නතර විය.

"හරි පුතේ  ඔයා යන්න. මං ගිහින් සර්ව හම්බවෙන්නම්" අවසරයෙන් ඔහු ගියා නොව ඉගිලුනේය. තිසල් තවමත් පසුවන්නේ සපත්තු ලේස් හා ඔට්ටු වෙමින්ය.
"මං පුතාගෙ ලේස් දෙක ගැට ගහලා දෙන්නද?"

"එපා ටීච...මට පුළුවන්" කියූ ඔහු මා බලාසිටියදීම එය නිවරදිව ගැට ගසා ගත්තේය.

"ටීච ඔෆිස් එකට යනවා. පුතත් ගිහින් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න. බෙල් කරන්න තව වෙලා තියෙනවනෙ "

සිනාසී හිස දෙපසට සොලවමින්ම මා පසුපසින් පැමිණි ඔහු  මිදුලේ සෙල්ලම් කරමින් සිටි අනෙක් ළමුන් අතරට එක්විය.  එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නොවෙනා පුංචි දඟකාරයින් හතලිස් ගනනක් අතරින් තිසල් කැපී පෙනුනේ අරුම පුදුම හැසිරීම් වලින් හා තැන්පත් බවින් පමණක් නොවේ. ඔහු විශේෂ දක්ෂතාවක් නොදැක්වුයේ දෙමළ භාෂාවට සහ චිත් ඇදීමට පමණි. සමාන පද හා විරුද්ධ පද ලියන්නට දුන් අභ්යාසයකදී සිය භාෂා හැකියාව ගැන  මුල්ම ඉඟිය  ලබාදෙමින් ඔහු මා පුදුමයට පත් කලේ වසර ආරම්භයේදීමය. තිසල් ගැන සිතමින්ම කාර්යාලයට ඇතුළු වන්නට මා නතර වූයේ විදුහල්පතිතුමා සමග කතා කරමින් එළියට එන තිසල්ගේ පියා දැකීමෙනි. තවමත් හිතට වද දෙමින් තිබූ ඊයේ සිදුවීම ඔහු දුටුවනම අළුත් වූයෙන් මට මහත් අපහසුවක් දැනෙන්නට විය.

ඊයේ පැවැත්වූ දෙමාපිය රැස්වීමට මවගේ පැමිණීම අනිවාර්ය බවත් මවට පැමිණිය නොහැකි නම් පමණක් පියා හෝ භාරකාරයෙකු පැමිණෙන ලෙසත් සදහන් කල ලිපියක් යැවීමට මට අවැසි වුවත් විදුහල්පතිතුමා ඊට තරයේ විරුද්ධ වූයෙන් මට සිදුවූයේ මගේ පණිවිඩය වාචිකව දරුවන් හරහා නිවසට යැවීමය. මව නොමැති දරුවන් කිසිවෙකුත් මගේ පන්තිය තුල නොමැති බව සක් සුදක් සේ දැන සිටි නිසා මගේ තීරණයේ වරදක් තිබෙන්නට බැරිය. බහුතරයක් මව්වරුන්ගේ සහ අතොලොස්සක් වූ පියවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුන රැස්වීම නිමාවන තෙක්ම තිසල්ගේ නිවසින් භාරකාරයෙකු හෝ පැමිණියේ නැත. මුදල් පසුපසම හඹායන ඇතැම් මව්පියන්ට දරුවන්ගේ පාසැල් අධ්යාපනය ගැන සොයා බලන්නට අමතක වූ බවත් මතක් වන්නේ ඔවුන් විභාගයක් අසමත් වූ විටය. දක්ෂ දරුවෙකු වූ තිසල්ගේ මව්පියන් දෙමාපිය රැස්වීමකට සහභාගී නොවූ පලමු අවස්ථාව එය නොවූයෙන් මට ඔවුන් ගැන දැනෙමින් තිබුනේ අපැහැදීමකි. දහවල් පාසල නිමවා බස් නැවතුම්පල වෙත යන අතරතුර  "ටීච...ටීච" කියමින් පිටුපසින් ආ මැදිවියේ මිනිසෙකු මා අසලින් නතර වන විටත් මා සිතමින් සිටියේ   ගැනය.

"අපේ මැඩම් ටීචට පොඩ්ඩක් කතා කරනවා" කියමින් ඔහු පාසල ඉදිරියේ නවතා තිබූ රිය පෙල දෙස බැලීය. ඔහුට අනුව දෙස බැලු මට  ගේට්ටුව ආසන්නයේම නවතා තිබූ මෝටර් රථයක පිටුපස අසුනේ සිට යන්තමින් හිස එලියට දැමූ කාන්තාවක්  දැකගත හැකි වුවත් කවරෙක්දැයි හදුනා  ගත නොහැකි විය.

"මැඩම් කිව්වෙ කවුද"
"අපේ මැඩම්...ටීචගෙ පන්තියේ ඉන්න තිසල් බබාගෙ අම්මා"

" මැඩම්ට කියන්න වෙන දවසක කතා කරමු  කියලා. මං මේ හදිස්සි ගමනක් යන ගමන්" කියූ මා පාරේ ගමන් කරමින් තිබූ ත්රී රෝද රථයක් නතර කරගත්තේ හිස් මුදුනට නැග දත නියවන්නට සැරසෙන යකාව මෙල්ල කරගැනීමටය. සිය රියදුරන් සහ මෙහෙකරුවන් ලවා මැඩම් කියවාගන්නා ගැහැණුන් මට කොහොමත් පෙන්නන්නට බැරිය. තාන්න මාන්න සහ මිල මුදලින් හිස උදුම්මාගෙන ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයටත් අවමන් කරනා දෙමව්පියන් සිටින බව මම දැන සිටියෙමි. එහෙත්  එවැන්නෙකු මුණ ගැසුන මුල්ම අවස්ථාව මෙය වූයෙන් අද උදෑසන පාසලට එනවිට  හිතට වද දෙමින් තිබුනේත් තිසල්ගේ පියා දැකීමෙන් අලුත් වූයේත් සිදුවීමය.

"ටීච පරක්කු නිසා මොකක් හරි වැඩක් වෙන්නැති කියලා හිතලා අපි මේ පන්තිය පැත්තට  යන්න හැදුවෙ" කියමින් මා ඉදිරියෙන් සිටගත් විදුහල්පතිවරයා තිසල්ගේ පියා දෙස බැලීය.

"එහෙනම් මිස්ට ජයරත්න, මං ඇතුළට යන්නම්. මැඩම්ට කියන්න ආයෙ මේ පැත්තෙ ආවොත් මට පණිවිඩයක් එවන්න කියලා" විදුහල්පතිවරයා සුපුරුදු ප්රතාපවත් ගමනින් කාර්යාලයට ඇතුළු වූයේ ඔහු මැඩම් නමින් හැදින්වූයේ කවරෙක්දැයි සිතාගත නොහැකිව සිටියදීය. දෙමාපියන්ගේ තරාතිරම් ඒ හැටි මායිම් නොකරන විදුහල්පතිවරයා තිසල්ගේ නිවසේ රියදුරු මෙන් ඔහුගේ මවට එවන් ආමන්ත්‍රණයක් කල බව සිතීම දුෂ්කරය. එකත් එකටම තිසල්ගේ පියාගේ සේවා ස්ථානයේ ඉහළ නිළධාරිනියකට ඔහු පණිවිඩයක් ලබා දුන්නා විය හැක.
"උදේම ඇවිත් කරදර කරාට සමාවෙන්න ටීච. ඊයෙ පේරන්ට්ස් මීටිං එකට එන්න බැරි වෙච්ච නිසයි මං මේ වෙලාවෙ ඇවිත් කතා කරන්න හිතුවෙ"

"ඒක කොහෙත්ම කරදරයක් නෙවෙයි. තිසල්ගෙ තාත්තා මෙහෙම හරි ඇවිත් කතා කරන්න හිතපු එක ලොකු දෙයක්"

"කලින් වතාවෙත් මොකක් හරි  වැඩක් යෙදිලා එන්න බැරි උන නිසා මං ඊයේ අනිවාර්යෙන්ම එන්නයි හිටියෙ. ඒත් උදේ දූට අසනීපයි  කියලා හොස්ටල් එකෙන් කෝල් එකක් ආවට පස්සෙ මට එයාව එක්ක එන්න යන්න උනා. අසනීපයි කියද්දි නොගිහිනුත් බෑ වෙන කෙනෙක් යවන්නත් බෑ. දෙතුන් වතාවක්ම නෑවිදින් ඉන්නකොට සර් උනත් අපි ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න පුළුවන් නිසයි මං උදෙන්ම ඇවිත් සර්ටත් වෙච්ච දේ කිව්වෙ" තමාගේ සහභාගිත්වය අනිවාර්ය බව හොදාකාරවම දන්නා අවස්ථාවන් මග හරින බොහොමයක් දෙමව්පියන් ඒ වෙනුවෙන් සුලභව ඉදිරිපත් කරන හේතුව ඔහු ඊට මදක් වෙනස් ආකරයකින් කියා දැමුවේය. හොදින් ඉන්නා දරුවෙකු බොරුවට ලෙඩ  කරවා සිය නොසැලකිලිමත් බව වසාගන්නට තතනන තිසල්ගේ පියා ගැන එවෙලෙහි මට සැබවින්ම දැනුනේ කණගාටුවකි.

"ඇත්තටම නම් මං ඊයෙ බලාපොරොත්තු උනේ තිසල්ගෙ අම්මව"

ඔහුගේ කට කොණකට සිනහවක් නැගුනි. එක්කෝ ඇය පාසලට එන්නට අකමැති වන්නට ඇත. නැතිනම් ගැන දෙදෙනා අතර ඇති වූ ආරෝවක් ඔහුට මතක් වන්නට ඇත. පාසැල් රැස්වීම වලට සහභාගි වන මව්වරුන්ගේ ප්රතිශතය අඩු වී ගියේ ඔවුන්ට සාරි ඇදීම  අනිවාර්ය කල පසුය. තිසල්ගේ මවද සාරි ඇදීමට ඇති අකමැත්ත හෝ නොහැකියාව නිසා ගමන ප්රතික්ෂේප කරන්නට ඇත.

"පුළුවන්නම් අම්මවම එක්ක එන්න කියලා ටීච කිව්වා කියලා පුතා අපිට කිව්වා. ඒත් ටීච වයිෆ් කැමති නෑ දරුවන්ගෙ ඉස්කෝලෙ ඇතුලට එන්න"

"එහෙමනම් ඉතින් කරන්න දෙයක් නෑනෙ.  මේ දරුවන්ගෙ මම දැකපු ගොඩක් ප්රශ්ණ කතා කරන්න ඕනි අම්මලත් එක්ක කියලා හිතුන නිසයි මං එහෙම කිව්වෙ"
"මොනාද ටීච"

"ඇත්තටම නම් තිසල් සම්බන්දව මට එහෙම අම්මටම කිව යුතු දෙයක් නෑ. මට වැඩිපුරම කතා කරන්න ඕනි උනේ දරුවන්ගෙ කෑම ගැන. ගොඩක් දෙනෙක් උදේට මොකුත් කාලා එන්නෙ නෑ. නැතිකමකට නෙවෙයි දෙමව්පියන්ගෙ සැලකිල්ලක් නැතිකම නිසා. ඉස්කෝලෙදි කන්නත් හැමදාම වගේ කඩෙන් මොනාහරි ඔතාගෙන එන දරුවොත් ඉන්නවා.තව කීප දෙනෙක් ඉන්නවා ඇස් අකුලගෙන තිස්සෙම ඇහිපිල්ලම් ගහ ගහ අමාරුවෙන් ඉන්න අය. අහලා බැලුවම හැමෝම ගේම් ගහන්න ඇබ්බැහි වෙච්ච අය. සමහරු උදේට අම්මා කවනකල් ගේම් ගහනවලු.එක්කෙනෙක් ඉන්නවා ඉස්කෝලෙට එනකල්ම තාත්තගෙ ෆෝන් එකෙන් ගේම් ගහන. ඒ දරුවන්ට දැන් එක දිගට එක දෙයක් දිහා ඇහිපිල්ලම් නොගහ බලන් ඉදලමද කොහෙද ඈත බලන්න හුරු නෑ. මේ දරුවො තාම ඉන්නෙ හතරෙ පංතියෙ. දරුවො පුංචියි. හරි වැරැද්ද තෝරලා දෙන්න දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕනි"

"ඔව් ඒක ඇත්ත ටීච"

"ඇත්තමට මට තිසල් සම්බන්ධව නම් ඔය වගේ ප්රශ්ණ මොකුත් නෑ. ඒත් තිසල් අනෙක් ළමයි එක්ක බැලුවම ටිකක් විතර අමුතුයි. එයා වැඩිය දුවන පනින සෙල්ලම් වලට කැමති නෑ. හැමවෙලාවෙම නැතත් සමහර වෙලාවට එයා තනියම ඉන්න උත්සහ කරනවා කියලත් මට දැනිලා තියෙනවා"

එයට යන්තමින් සිනාසුන ඔහු  එක්වරම කල්පනාවකට යොමුවිය.

"පුතා දවසක් මොන්ටිසෝරියෙදි දුවද්දි වැටිලා දත් දෙකක් කැඩිලා ලොකු කරදරයක් උනා. ඒ සිද්ධියට එයා සෑහෙන්න බය උනා. මං හිතන්නෙ දුවන පනිනකොට එයාට තාමත් සිද්ධිය මතක් වෙනවා වෙන්නෝන"

" එහෙම දෙයක් නම් කමක් නෑ. තව ටික කාලයක් යනකොට ඕක ඉබේටම අමතක වෙයි. මට බය තිබුනෙ එයාට මොකක් හරි අසනීපයක් තියෙනවද කියලා. එහෙම දෙයක් තියෙනවනම් දැනගෙන ඉන්න එක කෝකටත් හොදයිනෙ"

සීනුව නාද වන තුරු තවත් සුළු වේලාවක් මා සමග කතා කරමින් සිටි තිසල්ගේ පියා නික්ම ගියේ විවේකීව මා හමුවන්නට එන බවට පොරොන්දු වෙමිනි.

දහවල් විවේක කාලය අවසන් වීමට විනාඩි කිහිපයක් තිබියදී තිසල් මා අසලට ආවේ කුමක්දෝ අහන්නට සූදානමිනි.

"ඇයි පුතේ"

"උදේ අපේ තාත්තා ආවද ටීචව හම්බෙන්න"

"ඔව්නෙ...ඒකට තමයි මං අර ඔෆිස් එකට ගියෙ"

"ඉතින් ටීච මොනාද තාත්තට කිව්වෙ" මට සිනහ නැගින. තාත්තා මා හමුවීමට පැමිණි බව දැන සිටි නිසා ඔහු උදෑසන සිටම ඉන්නට ඇත්තේ මේ ප්රශ්ණය හිත තබාගෙනය. ඊයේ මා අනෙක් දරුවන් ගැන යම් යම් දේ ඔවුන්ගේ මව්පියන් සමග කියනවා ඔහු අසා ඉන්නට ඇත.

"මං කිව්වා පුතා හරිම හොදයි කියලා"

"ඇත්තටම ටීච එහෙම කිව්වද" සතුටින් ඔද වැඩුන මුහුණින් මා දෙස බලා උන් ඔහුට මා කියූ දේ තහවුරු කරගන්නටත් උවමනා විය.

"ඔව්නෙ. පුතා ඇත්තමට හොද නිසා ටීච ඇත්තටම තාත්තට එහෙම කිව්වා. බොරුනම් ගෙදර ගියාම තාත්තගෙන් අහලා බලන්නකො" ළගට ගෙන හිස පිරිමදිමින් මා එසේ කියද්දී සිඟිති මුහුණ සිනහවෙන් පිරී යන්නට විය.

"අපෙ අම්මත් මට හැමවෙලේම කියන්නෙ මගේ හොද පුතා කියලා"

"ඒකනෙ. ඔයා හොද නිසා තමයි හැමෝම එහෙම කියන්නෙ. අම්මා තව මොනාද පුතාට කියන්නෙ"

"අම්මා මට කවි කියලා දෙනවා. කතන්දර කියලා දෙනවා. තාත්තට ඔෆිස් ඇරලා ආවම කරන්න වැඩ ගොඩාරියක් තියෙන නිසා දැන් අම්මා තමයි මාත් එක්ක හවසට ලෙගෝ සෙල්ලම් කරන්නෙත්"

"ලෙගෝ?....."

"ඇයි ටීච පොඩි කාලෙ ලෙගෝ සෙල්ලම් කරලා නැද්ද?"

"නෑනෙ පුතේ. ලෙගෝ කියන්නෙ මොනාද කියලවත් ටීච දන්නෑනෙ"

"අයියෝ ටීච ඒකවත් දන්නැද්ද?. අපෙ අම්මනම් කියන්නෙ පොඩි කාලෙ ලෙගෝ සෙල්ලම් කරාම මොළේ වැඩෙනවලු"

"පුතාගෙ අම්මා මොනාද කරන්නෙ" නොදන්නා සෙල්ලමක් ගැන දැනගන්නවාට වඩා ඔහුගේ මව ගැන දැනගැනීමට අවැසි වූයෙන් මම කතාව වෙනතකට යොමු කලේ ඔහුට නොදැන්නෙන්නටය.

" පොත් කියවනවයි  වූල් ගොතනවයි. සමහර වෙලාවට නම් කොම්පියුටර්  වැඩත් කරනවා"

ඔහු ඒ ටික කියූ පිලිවෙලට සිනහ නැගෙන්නට ආවද මට එය යටපත් කරගත හැකි විය. පත පොතට ඇලුන සිත් ඇත්තියක් සිය දරුවාගේ ගුරුවරයෙකු තමා ළගට ගෙන්වා ගැනීමට උත්සහ කිරීමත් උදෑසන විදුහල්පතිවරයාගේ මුවින් පිටවු වචන කිහිපයත් ගැන මා නොදන්නා යමක් ඇති බවට ඉඟි කලාය.

"එතකොට පුතාගෙ අම්මා රස්සාවක් කරන්නැද්ද"

"කරනවා. අම්මගෙ ඔෆිස් එකට අපේ  ප්රින්සිපල් සර්ත් ඇවිත් තියෙනවා"

"පුතා කොහොමද දන්නෙ"

"ඉස්සර මං ඉස්කෝලෙ ඇරිලා යන්නෙ අම්මගෙ ඔෆිස් එකටනෙ. එක දවසක් මං යනකොට සර් අම්මත් එක්ක කතා කර කර හිටියා" මට එක්වරම මතකයට නැගුනේ බැංකුවය. එහෙත් බැංකුවක් යනු පාසලින් පසු දරුවන් රදවාගත හැකි ස්ථානයක් නොවේ.

"අම්මා මොනාද පුතේ කරන්නෙ "

"මොනා කරනවද කියලනම් දන්නෑ ටීච. හැබැයි අම්මගෙ මේසෙ උඩ තියෙන බෝඩ් එකේ නමනම් මං දන්නවා"

"බෝඩ් එක?"

"ඔව් අර ප්රින්සිපල් සර්ගෙ මේසෙ උඩ තියෙනවා වගේ එකක්" මා සිතුවා නිවරදිය. කුමක් හෝ ආයතනයක ඉහළ තනතුරක් දරණවා විය යුතුය. ඇතැම්විට පාසල තුලට ඒමට පැකිලෙන්නේත් තනතුරෙන් හිස ඉදිමුණු නිසාය.

"....ඒකද. ඉතින් මොකක් කියලද ඒකෙ ලියලා තියෙන්නෙ"

"කලාප අධ්යාපන අධ්යක්ෂ"

ඔහු බොහෝ උජාරුවට සිය මවගේ තනතුර වචනයෙන් වචනය උච්චාරණය කරද්දී මට එලොව පොල් පෙනෙන්නට විය. මාස ගනනක් තිස්සේ වෙහෙස වී හදාගත් ස්ථාන මාරුවට යන්තම් මාස නවයක් සපිරුණා පමණි. මා මගේ වෘත්තීය ගරුත්වය රැකගන්නට ගොස් අහිමි කරගන්නට යන්නේ අමාරුවෙන් හදාගත් ස්ථාන මාරුවද නැතිනම් ඊට වැඩි යමක්ද විය හැක.

මා ඇය ගැන නොදන්නා බව කිසිසේත්ම දැන සිටින්නට බැරිය. ඊයේ මට අඩගසන්නට ඇත්තේ තිසල්ගේ මව කවරෙක්දැයි මා දන්නා බවට අනුමානයෙනි. අද උදෑසනම සිය සැමියා විදුහල්පතිවරයා හමුවට එවන්නට ඇත්තේද ඊයේ මා ඇයව නොසලකා හැරීම පිලිබද කෝපයෙනි. විදුහල්පතිවරයාද යලි පැමිණි විටක පණිවිඩයක් එවන්නට කියා මා ඉදිරියේම කියන්නට ඇත්තේ ළගට ගොස් කතා බහ කිරීම මදිකමක් නොවන බව ව්යංගාර්ථයෙන් මට දැනුම් දෙන්නටය. නැතහොත් ඔහු එය මට ඒත්තු ගැන්වූ බව ඇයට දන්වා යවන්නටය. සිදුවූයේ ඉන් කුමක් වුවත් මා දැන්ම සිදුවූ වරද නිවරදි නොකර ගන්නට පසුතැවිලි වන්නට සිදුවන්නේ පසුවටය.

"පුතාට පුළුවන්ද පුතාගෙ අම්මා ආපහු ඉස්කෝලෙ ළගට එන දවසක මට චුට්ටක් කියන්න. මට පුතාගෙ අම්මා එක්ක කතා කරන්න ඕනි"

හිස දෙපසට වනමින්ම ගුරු මේසය අසලින් ඉවත් වූ තිසල් ආපිට හැරුනේ හදිස්සියේ යමක් මතක් වූ ලෙසටය.

"ඇයි පුතේ"

"මට තව චුට්ටෙන් අමතකත් වෙනවනෙ. අම්මා කිව්වා ටීචට සොරි කියන්න කියලා"

"මට?...අම්මා මොකටද මට සොරි කියන්නෙ"

"හේතුව නම් මාත් දන්නෑ ටීච. මං ඇහුවම අම්මා කිව්වෙ ඊයෙ අම්මට වීල් චෙයාර් එක ගේන්න බැරිවෙලා කියලා ටීච දන්නැතුව ඇතිනෙ කියලා"
නිමි!
සඳමාලී සකුන්තලා හේරත්

2015.03.31
"සඳ වියමන" ට ගොඩවූ ඔබ සැමට ලබන්නා වූ නව වසර සතුට සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා!.



ලෙඩදුක්  අපල     හිත්    කරදර     දුරුවේවා!

 සිතරැදි    පැතුම්     පැතු   ලෙසටම  ඉටුවේවා!

  කිරිපැණි  නොවේ  සිත්    සතුටින්   ඉතිරේවා!
    එළඹෙන    වසර      ඔබ     හැමටම   සුබවේවා!